තාප්පය, කෝප්පය සහ වතුසුදු මල්....



දුඹුරු පාට තාප්පයේ පිට පැත්ත පින්තාරු කරමින් සිටි මට අම්මා ‍කෑ ගැසුවාය. පැයක් පමණ වැඩ කර වෙහෙස වී සිට මට ඈ තේ කෝප්පයක් සාදාගෙන විත් තිබුණාය. වරක් දෙවරක් තෙවරක් තේක බොන්නට අඬ ගැසූ ඈ මා නොඑන බව දැන මා හුන් තැනටම තේක ගෙනවිත් දුන්නාය. උගුරට දෙකට තේක අහවර කළ මා, හිස් වූ කෝප්පය තබන්නට තැනක් සෙවීය. වෙන තැනක් නොවූයෙන් තාප්පය උඩින්ම හිස් තේ කෝප්පය තැබූ මා පින්සල අතට ගෙන නිකමට මෙන් නැවතත් කෝප්පය දෙස බැලීය. කෝප්පයෙන් එපිට පෙනෙන ගෙවත්තේ ඇති වතුසුදු මල් ටික සහ ඒ අතරින් එන උදෑසන හිරු කිරණද මගේ පියවි නෙත සුන්දරත්වයකින් පිනවීය. කොයිවෙලෙත් ලඟ තිබෙන, කොට කලිසම් සාක්කුවේ දමාගෙන හිටි ජංගමය අතට ගත් මා, මගේ පියවි නෙත පිනවූ ඒ මනරම් දසුන මගේ කැමරා නෙතටද හසු කරගන්නට වෑයම් ගත්තේය. මට කැමති ලෙස නාභිගත කිරීමේ හැකියාවක් තිබුණි නම් නාභිගත කරන්නෙ කෝප්පයද වතුසුදු මල්ද යැයි දෙලොවක් අතර සිරවුනු මා, වාසනාවකට මෙන් නාභිගත කිරීමේ හැකියාවක් නොතිබුණු මගේ කැමරා ඇසින් එම මනරම් දසුන කැමරා ඇසට අවැසි ලෙස ඊට හසු කර ගැනීමට ඉඩ දුන්නේය. කෙසේ හෝ නාභි ගත වී තිබුණේ වතුසුදු මල් බව පසුව නිරීක්‍ෂණය කළ මා, කැමති ලෙස නාභිගත කිරීමේ හැකියාවක් තිබුණි නම් නාභිගත කරගත යුතුව තිබුණේ කුමක්දැයි තවමත් කල්පනා කරමින් සිටින්නේය.

4 ප්‍රතිචාර:

  දුකා

October 8, 2009 1:20 AM

කන්සෙප්ට් එක නම් හොඳයි . . . කෝප්පේ පුන්චියටත් තාප්පේ තව පොඩි කොටසකුත් ගහ වැඩියෙනුත් අරගත්තා අන් මීට වැඩිය ලස්සන වෙන්න තිබුනා කියල තමයි මට නම් හිතුනේ . . .

  ධනික | Dhanika

October 9, 2009 9:32 PM

මේක කන්සෙප්ට් එකක් නෙමෙයි දුකා අයියෙ... මේ ඇත්තටම වෙච්ච දේ ලියලා තියෙන්නෙ... තාප්පෙට තීන්ත ගගා ඉන්නකොට අතේ තීන්ත පිටින්මයි සේයා රුව ගත්තෙ... ඒකයි වැඩිය කිරලා මැනලා ගන්න බැරිවුනේ... :D

  ශාකුන්තල

October 10, 2009 12:25 AM

වළාකුළු ටිකකුත් එක්කම ගන්න තිබුණනං මරු!

  ධනික | Dhanika

October 17, 2009 11:57 AM

@ශාකුන්තල
අපේ මේ phone camera වලින් වළාකුළු ගන්න බෑ අයියෙ... අහසෙ photo එකක් ගත්තොත් සුදුවට සුදුවෙ වදිනවා මිසක් වළාකුළු වදින්නෑ.. Exposure control කරන්න බෑ නෙව මේවයින්.. :(